විජයදාසගේ සභාපති කමට එරෙහි වාරණය දීර්ඝ කරයි

විජයදාසගේ සභාපති කමට එරෙහි වාරණය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස තේරී පත් වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 27 වන දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (15) නියෝග කළේය.

වැඩ බලන ප්‍රධාන ලේකම්ගේ හා වැඩ බලන සභාපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගය ද යළි දීර්ඝ කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, දුමින්ද දිසානායක හා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල, වැඩ බලන සභාපති, වරාය ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නම් කර ඇත.

වාරණ නියෝග වලට එරෙහි විත්තියේ විරෝධතා ලබන 27 වන දින ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා දන්වා සිටියේය.

Share This