විදේශ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දීමක්

විදේශ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දීමක්

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

එසේම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් අදාළ තොරතුරු ලබාගත හැකිය.

මේ අතර ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව විසින් ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රු.1,075,000ක මුදලක් ලබාගෙන අදාළ රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇත. පැමිණිලිකරු විසින් අදාළ කාන්තාවද කාර්යාංශය වෙත කැඳවාගෙන පැමිණ තිබුණි. එහිදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව ඊයේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද (09) කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.