අද පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලි තරඟයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනක්

අද පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලි තරඟයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනක්

දෝහා කටාර්හිදී මේ දිනවල පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (7) තරග වැදීමට නියමිතය.

මීටර් තුන ස්ප්‍රිංබෝඩ් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සහ මේ වන විට ලෝක ජල ක්‍රීඩා ශිෂ්‍යත්වයක් යටතේ කැනඩාවේ පුහුණුව ලබමින් සිටින දුලංජන් ප්‍රනාන්දු මීටර් තුන ස්ප්‍රිංබෝඩ් ඉසව්වෙන් අද තරග බිමට පිවිසෙන අතර තරගය අද හමාඩ් ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම ලෝක ජල ක්‍රීඩා ශිෂ්‍යත්වයක් යටතේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබන දිලංක ෂෙහාන්ද අද පැවැත්වීමට නියමිත පිරිමි කිලෝමීටර් 5 විවෘත ජල ඉසව්ව සඳහා දෝහා වරායේදී සහභාගී වීමට නියමිතය.

පිහිනුම් ඉසව් ලබන 11 වැනිදා හමාඩ් ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒ සඳහා සහභාගී වීමට නියමිතය.

කයිල් අබේසිංහ නියෝජනය කරන පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව සහ පිරිමි මීටර් 50 නිදහස් ආර ඉසව්ව එළැඹෙන 14 සහ 16 යන දිනවලදීත්, දැනට ඔස්ට්‍රේලියාවේ පුහුණුව ලබන අකලංක පීරිස් නියෝජනය කරන පිරිමි මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 පසුපස ආර යන ඉසව් පෙබරවාරි 12 සහ 17 දෙදින තුළදීත් පැවැත්වීමට නියමිතය.

මේ අතර ගංගා සෙනෙවිරත්න එළැඹෙන 12 සහ 16 යන දිනවලදී කාන්තා මීටර් 100 පසුපස ආර සහ කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව් සඳහාත්, හිරුකි ද සිල්වා එළැඹෙන 13 වැනිදා සහ 15 වැනිදා දිනවලදී කාන්තා මීටර් 200 නිදහස් ආර ඉසව්ව සහ කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව සඳහා සඳහාත් සහභාගීවීමට නියමිතය.

දෝහා කටාර්හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු, විවෘත ජල පිහිනුම් ක්‍රීඩකයකු සහ කිමිදුම්කරුවකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.