වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයා වන “වෑල්ඩින් රුවන්” අයිස් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සමග ඒකාබද්ධව ඊයේ (14) අම්බලන්ගොඩ පොලිස් වසමේ නො 272, දුම්කොළ නිවාස, ගලගොඩවත්ත, කුලීගොඩ දී වැටලීමක් සිදුකර තිබේ.

එහි දී අයිස් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 590 ක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රාද්ශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු දැනට විදේශගතව සැගවී සිට සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෝබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා ගේ ප්‍ර‍ධාන ගෝලයකු වන ගරුමුණි ආරච්චිලාගේ රුවන් ධනුෂ්ක ද සිල්වා නොහොත් වෑල්ඩින් රුවන් ලෙසයි හඳුන්වන්නේ.

එමෙන්ම පසුගිය දිනයකදී මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අතර එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි, පොලිසිය සඳහන් කරන්නේ.

Share This