රටවල් හතක සංචාරකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කෙරේ

රටවල් හතක සංචාරකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙස දියත් කරමින්, 2024.03.31 දින දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ සුදුසුකම් ලබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2024.03.31 දින දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට / නිකුත් කිරීමට යටත්ව ඉහත නම් කර ඇති ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.

මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලබා දෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ක්‍රමය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා 2024.03.31 දින තෙක් අයදුම් කළ හැකි බවත් ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරටත් දීර්ඝ කළ නොහැකි අතර එය දින 30 ක කාලසීමාවකට පමණක් සීමාවන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

පැමිණි දින සිට දින 30 ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැකියාව ඇති බවත් මෙම ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් හත සඳහා අදාළ වන අතර අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share This