වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.

එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා.”

“ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා.”

“මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා.”

“ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්එස් කේත 299කුත් ඒවගේම විශේෂයෙන්ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. ඒකෙදි මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.”

Share This