පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ළඟදීම

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ළඟදීම

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළකළේය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කළේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මව්පියන්ට එවැනි භාණ්ඩ සඳහා වන වියදම් දරාගත නොහැකි බැවින් හැකි ඉක්මනින් එම ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ප්‍රේමජයන්ත කියාසිටියේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිය අමාත්‍යංශය දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර බොහෝ විට ලබන සතියේ ඊට අනුමැතිය ලැබෙනු ඇති බවයි.

මේ පිළිබඳ අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශ්ව රැසක් සහාය පළකර ඇති බැවින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ඔහු පැවසීය.

අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබුණු පසු සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙරට කාන්තාවන් මුහුණදෙන සනීපාරක්‍ෂක ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත්, ඒවා ප්‍රතිපත්තිමය වෙනස්කම් තුළින් විසඳිය යුතු ගැටලු ලෙස හඳුනාගෙන රජය මේවාට මැදිහත් විය යුතු බවත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Share This