එළවළු මිල 40%කින් ඉහළට

එළවළු මිල 40%කින් ඉහළට

පෙර සතියට සාපේක්ෂව එළවළු තොග මිල ඊයේ (29 වැනිදා) 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. දඹුල්ල තොග වෙළෙඳපළට සැපයූ සියලුම එළවළු වර්ග වල තොග මිල මෙලෙස ඉහළ ගිය බව තොග වෙළෙන්දෝ පවසයි.

තවද මේ දිනවල එළවළු තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම අඩුවී තිබෙන අතර, එළවළු තොග සැපයුම ද අවම වී තිබේ.

ඊයේ (29 වැනිදා) දඹුල්ල තොග වෙළෙඳපළට එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ අටක් පමණ ලැබුණු බවත් මීගොඩ, වේයන්ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට දඹුල්ලෙන් එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ එක හමාරක පමණ තොග ගැණුම්කරුවන් විසින් මිලදී ගත් බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක පැවැසීය.

අමු මිරිස්, මාළු මිරිස්, බෝංචි සහ ලීක්ස් මිල පසුගිය සතියට සාපේක්ෂව 50%කින් පමණ ඉහළ ගොස් තිබිණි. පසුගිය දිනවලදී පැවැති වර්ෂාවෙන් වගාවන්ට හානි සිදු වීම නිසා මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇතැයි ද ඒකනායක මහතා කීවේය.

ඒ අනුව ඊයේ (29 වැනිදා) පැවැති තොග ගැණුම් මිල අනුව බෝංචි රුපියල් 350 – 375ත්, අමු මිරිස් රුපියල් 350 – 360ත්, මාළු මිරිස් රුපියල් 370 – 400ත්, ලීක්ස් රුපියල් 250 – 300ත් සහ කැරට් රුපියල් 250 – 260ත් වශයෙන් එළවළු කිලෝවක් අලෙවි කෙරිණි. ඊට අමතරව කැකිරි රුපියල් 70 – 75ත් සහ වට්ටක්කා රුපියල් 60 – 65ත් අතර මිලකට අලෙවි විය.

උඩරට, පහතරට, වයඹ, යාපනය සහ ඌව කලාපවලින් ලැබුණ සියලුම එළවළු වර්ගවල කිලෝවක තොග මිල ඉහළ ගිය බවද හෙතෙම කීවේය. ඒ අනුව දේශීය අර්තාපල් රුපියල් 250 – 260ත්, ආනයනික අර්තාපල් රුපියල් 150 – 160ත් සහ ආනයනික ලොකු ළුෑණු රුපියල් 95 – 105ත් අතර මිලකට අලවි වූ බවද ඔහු පැවැසීය.

Share This