කෙහෙළිය උසාවි ගෙනා වෑන් රථය ගැනත් විමර්ශනයක්

කෙහෙළිය උසාවි ගෙනා වෑන් රථය ගැනත් විමර්ශනයක්

බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට රැගෙන ඒමට යොදාගත් කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථය සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, එය බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණිල්ලක් මතයි.

ළමයින් හැර රැඳවියන් ප්‍රවාහනය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසියද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සෙසු සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් උසාවියට ගෙනාවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අවස්ථා කිහිපයේදීම ඔහු උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථයක් බව පෙන්වා දෙන පැමිණිලිකරු, බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම වරප්‍රසාදය දී ඇතැයිද සඳහන් කර ඇත.

මෙම පැමිණිල්ලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය හෙළිකර ගැනීම සඳහා රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Share This