උදයංගට කෙටි කලකට රට යන්න අධිකරණයෙන් අවසර

උදයංගට කෙටි කලකට රට යන්න අධිකරණයෙන් අවසර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය.

එසේම අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇති බැවින් නැවත වරක් සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන බවද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.

එහිදී සැකකරුවන් ලෙස නම් කර ඇති ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයන් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.

කැමැත්ත ලබාදී තිබියදීත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ඔවුන්ට විරුද්ධව නිල් නිවේදන නිකුත් කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා පැවැසුවේය.

නමුත් කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරීම බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උද්දෘත ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ඒ පිළිබඳ මීටපෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාල නඩුකරය දෙසැම්බර් 4 වැනිදා නැවත කැඳවීමට නියමිතය.