උඩදියලුම වන අලි ප්‍රහාරයෙන් තරුණියක මියයාමේ සිද්ධියට පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම වන අලි ප්‍රහාරයෙන් තරුණියක මියයාමේ සිද්ධියට පෙම්වතා රිමාන්ඩ්

කොස්ලන්ද උඩදියලුම රක්ෂිතයේදී කූඩාරමක් තුළ සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, වාරියපොළ පදිංචි කලුආරච්චිගේ ධනුෂ්ක මධුෂාන් නමැති 22 හැවිරිදි තරුණයෙකි.

කොස්ලන්ද උඩ දියලුම රක්ෂිතයේ අනවසරයෙන් කූඩාරම් ගසා තරුණියක සමග රාත්‍රී කූඩාරමේ සිටිය දී වන අලියෙකු පහරදීමෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර මෙම තරුණයා තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වෙනි වගන්තියට අනුව සාපරාධි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනාව මත මෙම සැකකාර තරුණයා අත්අඩංගුට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මෙම යුවළට මගපෙන්වීම කළ බව කියන සංචාරක මග පෙන්වන්නන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා බලපත්‍ර නොමැතිව සංචාරක මග පෙන්වන්නන් ලෙස පෙනී සිටීම හා රක්ෂිත එළි පෙහෙළි කර අනාරක්ෂිත ලෙස යුවලකට කූඩාරම් ගසා උඩදියලුම රක්ෂිතයේ රැය පහන් කිරීමට ඉඩ දීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වෙනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිද්ධියයේදී වන අලි ප්‍රහාරයෙන් පෞද්ගලික ආයතනයක හෙද නිලධාරීණියක ලෙස පුහුණුව ලැබූ මාතර කැකුණදුර ගම්මචාරිණිගේ තරුෂි කවීෂා නමැති විසි තුන් හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත් වූවාය.

කොස්ලන්ද උඩදියලුම සංචාරක කලාපය දර්ශනීය ස්ථානයක් ලෙසත් කෑම්පින් කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලෙසත් දෙස් විදෙස් සංචාරකයින් අතර මෑතදී ප්‍රසිද්ධියට පත්වූ මනරම් ස්ථානයකි.

ඒ නිසාම වන අලි ප්‍රහාරයෙන් තරුණියක එම ස්ථානයේ දී මිය යාමේ සිද්ධිය වැඩි කතා බහකට ලක්වූ සිද්ධියක් විය.