පැරණි ටීවී ෆ්‍රිජ් භාවිතා කරන අයට දැනුම් දීමක්

පැරණි ටීවී ෆ්‍රිජ් භාවිතා කරන අයට දැනුම් දීමක්

වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80ත් 120ත් අතර විදුලි ධාරිතාවක් වැය වන බවත්, නවීන තාක්ෂණයෙන් සකස් කරන ලද එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර භාවිතයේදී වැය වන්නේ වොට් 40ක පමණ විදුලි ධාරිතාවක් බවත් එම අධිකාරිය පවසයි.

පැරණි ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර භාවිතය නිසා මාසිකව විශාල මුදලක් විදුලි බිලට වැය කිරීමට සිදුවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා පැවසුවේය.

පැරණි ශීතකරණය ලබාදී නව ශීතකරණයක් මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් මාසයකට ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 30ක පමණ ප්‍රමාණයක් බවද ඔහු පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයත් සමග මෙරට නිවාස මිලියන දෙකක පමණ මාසික විදුලි බිල රුපියල් 4000 ඉක්මවා ඇතැයි අනාවරණය වේ.

විදුලි ගාස්තු සංශෝධනයට පෙරදී මෙම නිවාසවල මාසික විදුලි බිල රුපියල් 200ත් 300ත් අතර වූ බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

රටේ බලශක්ති දරිද්‍රතාවක් පවතින බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ පැවසුවේය.

තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විමධ්‍යගත පුනර්ජනනීය බලශක්ති දායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ 07, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව පැවසුවේය.

මෙම වැඩමුළුව ඒකාබද්ධ සංවර්ධන සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පවත්වන ලදී.

නිෂ්පාදන වියදමෙන් 10%කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට යම් ආයතනයකට සිදුවන්නේ නම් එහි බලශක්ති දරිද්‍රතාවක් පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙරට ජනගහනයෙන් සියයට පහක් පමණ වහළය මත සූර්ය පැනල සවිකරගෙන තිබෙන බවද, එය සංඛ්‍යාත්මකව පනස් දහසක් පමණ වන බව ඔහු පැවසීය.

නිවාසවල සූරිය පැනල සවි කිරීමට අදාළව අඩු පොළී අනුපාතයන් යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 87 ක ණය මුදල ලබාදීමද මේ වන විට නතරවී ඇතැයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

Share This