පාසල් දැරියන් අපයෝජනය කළ තවත් ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට

පාසල් දැරියන් අපයෝජනය කළ තවත් ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට

පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොළොන්නරු ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවක දී අදාළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පාසල් දැරියන් අපයෝජනයට ලක් කර ඇති අතර එළෙස අපයෝජනයට ලක් වූ දැරියන් 6 දෙනෙකුගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඇතැම් දෙමාපියන් සිය දරුවන්ට සිදුවූ අපයෝජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා බියවී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, 41 හැවිරිදි උපකාර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම මෙවැනිම සිද්ධියක් පසුගියදා කළුතර ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එහිදී පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කරමින් ඒවා වීඩියෝ ගතකළ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 26 වනදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි දැරියකට අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයන් කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තවත් තරුණයෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

දැරියගේ පාසලේ ගුරුවරියක විසින් ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.