දකුණේ ගුරුවරුන්ටත් පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

දකුණේ ගුරුවරුන්ටත් පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සඳහන් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේදීය. ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ වන විට මධ්‍යම, වයඹ, සබරගමුව, නැඟෙනහිර යන පළාත්වල ද එම පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට මුදල් අය කර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

මධ්‍යම පළාත තුළ 2023 වසරේ ජූනි මාසයේ ද සබරගමු පළාත තුළ 2023 වසරේ අගොස්තු මාසයේ ද නැඟෙනහිර පළාත තුළ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ද වයඹ පළාත තුළ පසුගිය ජනවාරි මාසයේ ද මෙම තහනම පනවා තිබිණි.

දකුණු පළාතත් මෙම තහනමට එක්වීමත් සමඟ මේ වන විට පළාත් 05ක පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට මුදල් අය කර උපකාර පන්ති පැවැත්වීම තහනම්ය.