දුම්රිය වර්ජනය තවදුරටත් – කාර්යාල දුම්රිය 11ක් අවලංගු කෙරේ

දුම්රිය වර්ජනය තවදුරටත් – කාර්යාල දුම්රිය 11ක් අවලංගු කෙරේ

මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයකට බාධා එල්ල වී තිබේ.

අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිරීමට විරෝධය දක්වමිනුයි ඔවුන් අසනීප නිවාඩු වාර්තාකරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී ඇත්තේ.

මේ හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේය.

එසේම, අද දුම්රිය ගමන් වාර 72කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වීමට නියමිත අතර මේ වනවිට ගමන්වාර 11කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි, වාර්තා වන්නේ.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක්, පුත්තලම් මාර්ගයේ එක් දුම්රියක්, උතුරු දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ලෙස දුම්රිය අවලංගු කර තිබේ.