දුම්රිය ආසන වෙන්කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

දුම්රිය ආසන වෙන්කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට හැකියාව තිබෙයි.

ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදු කිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “දුන්හිඳ ඔඩිසි” නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.