ළමුන් යුරෝපීය රටවලට අලෙවි කිරීමේ ජාවාරමක් ගැන කඩිනම් පරීක්ෂණයක්

ළමුන් යුරෝපීය රටවලට අලෙවි කිරීමේ ජාවාරමක් ගැන කඩිනම් පරීක්ෂණයක්

වයස අවුරුදු 18ට අඩු ළමයින් මැලේසියාව හරහා යුරෝපීය රටවලට අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධ වී සිටින අතරමැදි ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වන විට මෙරටින් ළමයින් 13 දෙනෙකු මැලේසියාවට පිටත්කර ඇති බවත් ඒ සඳහා මෙම ජාවාරම්කරුවා සම්බන්ධ වී ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.

වයස අවුරුදු 18ට අඩු ළමයින් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාට පසුගිය දා තොරතුරු රැසක් ලැබී තිබිණි.

ශ්‍රී ලාංකික ‍දොළොස් හැවිරිදි දරුවෙකු යුරෝපීය රටකට අලෙවි කිරීමට යාමේදී අඹු -සැමි යුවළක් මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරම ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

මැලේසියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී එම යුවළ ශ්‍රී ලාංකික ළමයින් යුරෝපීය රටවලට අලෙවි කර ඇති බව හෙළි වී තිබිණි.

මෙහිදී හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිට නීත්‍යනුකූල ලියවිලි ඔස්සේ මැලේසියාවට ගෙන්වා ගන්නා මෙම දරුවන් එරටදී නව විදේශ ගමන් බලපත්‍ර හරහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට යැවෙන බවයි.

විදේශ ගමන් බලපත්‍ර සඳහා සකසන ව්‍යාජ උප්පැන්න සහතික මේ සඳහා උපයෝගී කරගෙන ඇති අතර ඒ සඳහා ජාවාරමට සම්බන්ධ වූවන්ට ඩොලර් ගෙවා ඇති බව ද සඳහන් ය.

උප්පැන්න සහතික සෑදීම සඳහා මවුපියන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට යුරෝ හා ඩොලර්වලින් මුදල් ගෙවා ඇති අතර පසුව විවිධ මුදල් ගණන් යටතේ මෙම ළමයින් විදේශ රටවලට අලෙවි කර ඇති බවත් අනාවරණය වී තිබේ.

ආගමන-විගමන විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධයෙන් මාස හයක කාලයක් තුළ විදේශගතව ළමයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර ඇති අතර ඔවුන්ගෙන් ළමයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

මෙලෙස විදේගත කළ ළමයින් උතුර නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවත් ඔවුන් සිය මවුපියන් හෝ ඥාතීන් සමග නීත්‍යනුකූලව මැලේසියාවට ගොස් ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් මැලේසියාවෙන් ගිය රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය නොවන බවත් වාර්තා වේ.

එහෙත් මෙම ළමයින් නැවත මෙරටට පැමිණ නැති අතර ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත්කොට ඔවුන් මැලේසියාවෙන් පිටමං කර ඇති බවකි. මේ සඳහා තැරැව්කරු රුපියල් ලක්ෂ ගණන් මුදල් ඔවුන්ගේ මවුපියන්ගෙන් ලබාගෙන ඇති බවටත් හෙළි වී ඇත. මෙම මුදල් සැකකාර තැරැව්කරුට ගෙවා මවුපියන්ගේ කැමැත්ත මත මෙම දරුවන් යුරෝපා රටවලට අලෙවි කර ඇති බවත් සැක පළ කෙරේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් පරීක්ෂණයක් අරඹනු ලැබ තිබේ.

Share This