අසපුවට පූජා කල ටිපර් රථය අනතුරට ලක් වී මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි අයෙක් මරුට

අසපුවට පූජා කල ටිපර් රථය අනතුරට ලක් වී මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි අයෙක් මරුට

ඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, අට කලම්පන්න නදුන් ඇල්ල පොතුවිල් පාර පදිංචිව සිටි එන් ඒ කසුන් සමීර උපශාන්ත නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි හොරණ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ඉසුරු ගයාන් අබේවර්ධන මහතා එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමග එක්ව ටිපර් රථය සහ කාණුව අතර සිරවී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කෘතිම ශ්වසනය ලබා දී දැඩි උත්සාහයක් ගෙන අනතුරුව රෝගියා රැගෙන පැමිණි වෑන් රථයේ නැගී ඉංගිරිය රෝහල කරා පැමිණ එහිදී මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව හොරණ මූලික රෝහල කරාද රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

එලෙස රැගෙන ආ රෝගියාගේ දිවි බේරා ගැනීම සඳහා එම වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු පිරිසක් දැඩි උත්සාහ ගත්තද ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලද අනෙක් පුද්ගලයා රියදුරු ලෙස කටයුතු කළ අය බව පොලිසිය පවසයි.

අනතුරට පත් ටිපර් රථය ආපදා රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමේදී මහ ඉංගිරිය ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී එහි අසුන්ගෙන සිටි ත්‍රීරෝද රථ රියදුරුද තුවාල ලබා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බව පොලිසිය කියයි.

අසපුවට පූජා කරන ලද බව කියන ටිපර් රථයෙන් මියගිය අය තවත් දෙදෙනෙකු සමග පාදුක්ක දෙසට යමින් සිටියදී ශාන්ත පීතර හන්දිය පසුකර ඉදිරියට යාමේදී ටිපර් රථය මාර්ගයෙන් වම් අත දිශාවට ඇදී ගොස් පස් කන්ඩියක ගැටී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ටිපර් රථයේ රියදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිදු පුද්ගලයකු ආරක්ෂක පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රපාල මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න පොලිස් සැරයන් 39530 සමන් පොලිස් කොස්තාපල් 79039 ලහිරු මහත්වරු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Share This