කොළඹ – ත්‍රිකුණාමලය කෝච්චියේ නියාමක කෝච්චියෙන් බිමට වැටිලා

කොළඹ – ත්‍රිකුණාමලය කෝච්චියේ නියාමක කෝච්චියෙන් බිමට වැටිලා

කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා අද (16) උදෑසන ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමඟදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නැවැත්වීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා නොලැබීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී ඔහු දුම්රිය නියාමක මැදිරියේ දක්නට සිට නැත.

පසුව අනාවරණය වී ඇත්තේ, දුම්රිය ධාවනය වෙමින් පැවතියදී ගණේමුල්ල සහ බුළුගහගොඩ අතරදී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටී රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමෙන් පසු දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.