දැයේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව “මිහිර” අවසන් ගමන් යයි

දැයේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව “මිහිර” අවසන් ගමන් යයි

මෙරට දරුවන් අතර ඉතා ජනප්‍රිය මෙන්ම පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ පුවත් පත මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මින් ඉදිරියට මිහිර පුවත්පත අන්තර්ජාලය ඔස්සේ ඊ පුවත්පතක් ලෙස පමණක් එළිදැක්වෙනු ඇතැයි වාර්තා වේ.

මේ වන විට වෙළඳපොළට නිකුත් කර ඇත්තේ එහි අවසන් මුද්‍රිත පිටපතයි.

මිහිර පුවත්පත ආරම්භ කරන ලද්දේ 1964 වර්ෂයේදීය.

මේ අතර පහතින් දැක්වෙන්නේ ‘මිහිර’ කර්තෘ මණ්ඩල සාමජික සාමාජිකයෙක්ව සිටි මංජුල දිසානායක ‘මිහිරේ’ අවසන් ගමන ගැන සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.

“මිහිරේ මිහිරි ගමනක අවසානය

උපත – 1964

අඩ විපත – 2024

කවදා හෝ සිදුවන බව දැනසිටි, එහෙත් මෙතරම් ඉක්මනින් සිදු වේ යැයි නොසිතූ කනගාටුදායක පුවත අද අසන්නට ලැබු‍ණි. පොතට සිරවී සිට මඳ විවේකයක් ගැනීමට මුහුණු පොත දිගහැරි විට මුලින්ම දුටුවේ අප සැමදා ආදරය කළ මිහිර පුවත්පත මුද්‍රණය නතර කර ඇති බව ය.

මගේ පුවත්පත් දිවියේ ස්වර්ණමය මතකයන් රැසක් එක් කළ තැන වුයේ මිහිරයි. අද ඒ මතක අතීතයට එක් වුවත් ඒ අතීතය තුළ පවා ඇත්තේ යළි යළි විඳිය හැකි අපූර්ව සතුටකි.

දුකත් සමඟ අතීතය මතකයට නැගෙන්නේ ඒ නිසා ය.

පාසල් කාලයේ කියවූ මිහිර පත්තරේ සේවය කරන්න ලැබේයැයි එදා සිහිනෙන්වත් සිතුණේ නැත. එහෙත් පසුකලෙක පත්තරකාරයකු ලෙස ලේක්හවුස් පියගැට පෙළ නැගි මට 2004 දී මිහිර කර්තෘ මාණ්ඩලිකයකු වීමේ වාසනාව ලැබිණි. එදා සිට වසර තුනක කෙටි කාලයක් හැර ‍පත්තර රස්සාවට සමු දෙන තෙක් මිහිර කර්තෘ මණ්ඩලය මගේ නිවහන විය.

දැයේ දූ දරුවන්ට සැබැවින්ම විශ්ව කෝෂයක් වූ මිහිරේ වයස මේ වනවිට දශක 7කට ආසන්න ය. මිහිර ඇරඹියේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ජ්‍යෙෂ්ට පුවත්පත්කලාවේදියාණන්ගේ කර්තෘත්වයෙනි.

ඉන්පසු පිළිවෙලින් බන්දුල සමරසිංහ, අනුලා ද සිල්වා, එස්. සුබසිංහ, සුමනා සපරමාදු, නිව්ටන් පින්තු, ආදී ජ්‍යෙෂ්ඨයෝ කතුවරු ලෙස කටයුතු කළහ.

මා මිහිරට සම්බන්ධවන විට එහි කර්තෘවරිය වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉන්ද්‍රා ද අල්විස් ගුණතිලක මහත්මියයි. එතැන් සිට මගේ පත්තර දිවිය අවසන් වන තෙක් අජිත් ධර්මසිරි, ජගත් හේවාපන්න ආදී ප්‍රවීණයන් මිහිර කතුවරු ලෙස කටයුතු කළහ.

දරුවන්ගේ පුවත්පතක් වූ නිසාම මිහිර අපේ මාධ්‍ය සගයන් අතර ද ප්‍රචලිත වූයේ ‘බබා පත්තරේ’ ලෙස ය.

බබා පත්තරේට මා සම්බන්ධ වන විට එහි වූ බබාලා වූයේ, ගාමිණී සුසන්ත, ඉරූෂා ග්‍රේරෝ, ආත්මා සුරේන්ද්‍ර, දේවිකා වඩිගමංගාව, හර්ෂණී ගමගේ, සමුද්‍රිකා වර්ණකුල සහ මොහාන් වික්‍රමසිංහය. ඉන්දු ජයතිලක මහත්මිය නි‍යෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කළා ය.

මිහිරේ සිතුවම් හැඩ වූයේ කනංකේ කේ. ප්‍රේමචන්ද්‍ර, කුමුදු තාරක, ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් අතිනි.

ටීම්වර්ක් උපරිමයෙන් තිබූ ඒ යුගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ගුරුහරුකම් ලබමින්, දැනුම යාවත්කාලීන කර ගනිමින්, මිහිර වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට අපට හැකි විය.

ඉන්ද්‍රා ගුණතිලක මහත්මියගේ විශ්‍රාම ගැනීමෙන් පසු අජිත් අයියා කතු පදවියට පත් විය. සුසන්ත අයියාත්, දේවිකා අක්කාත් සිළුමිණට ගියහ. ශෂිකා පෙරේරා, දීපානි අත්තනායක සහ ලාංකිකා තල්ගොඩපිටිය මිහිරට අලුතින් සම්බන්ධ වූහ.

කාලයට ගැළපෙන ලෙස මිහිරේ හැඩය වෙනස් කරමින් දිගු ගමනක් පැමිණි මිහිරේ මිහිරට කණ කොකා හඬන්නට වූයේ පත්තර ගැන නොදත් පාලනාධිකාරින් ලේක්හවුසියට පත් වීමත් සමඟ ය. දේශපාලන පළිගැනීම්වලින් මාරු කෙරෙන අයගේ තාවකාලික නවාතැන්පළක් බවට මිහිර කර්තෘ මණ්ඩලය පත් විය. මිහිරේ උන්නතිය වෙනුවෙන් යෝජනා කළ අදහස් බොහොමයක් කුණු කූඩයට එක් විය.

අජිත් අයියා සුබසෙත කර්තෘ පදවියට පත් වූ පසු මිහිර කතු පදවියට පත් ජගත් හේවාපන්න මහතාට මිහිර නගා සිටුවීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු විය. ඒ අභියෝගය සාර්ථකව බාරගත් ඔහු ඒ වෙනුවෙන් සුවිසල් පියවරක් කීපයක්ම තැබීය.

කොවිඩ් සමයේ පවා මිහිර මුද්‍රණය කිරීමට අපට හැකි වූයේ ඒ නිසා ය. ඉන් ටික කළකට පසු ජගත් අයියා විශ්‍රාම ගත්තේ ය.

ඊටත් පෙර අපට සිටි හොඳම විශේෂාංග ලේඛිකාවක වූ ඉරූෂා අදිසි හස්තයකින් මාරු කරනු ලැබ අවසානයේ පත්තර රස්සාවට සමු දුන්නාය. නියෝජ්‍ය කතුවරිය වූ ආත්මාට තනතුර අහිමි විය.

හිටපු සභාපතිවරයකුගේ අනුහසින් කොහේදෝ සිට නියෝජ්‍ය කතුවරියක් අහසින් පහත් විය. එතැන් සිට මිහිර වල්මත් විය.

මිහිරේ අනාගතය ගැන ඒ වන විටත් අපට පැහැදිළි චිත්‍රයක් මැවී තිබිණි. ජගත් අයියා විශ්‍රාම ගත් පසු පත්තරේ නැත්තට නැතිවන ඉඟි ඒ වන විටත් පෙනෙමින් තිබිණි.

කළ යුතු හොඳම දෙය වූයේ දන්න විදිහට පොතක් ලියාගෙන පාඩුවේ හිඳීම බව තේරුම් ගත් මම 2021 දී ලේක්හවුසියට සමු දීමට තීරණය කළෙමි.

මගේ ඉවත් වීම ප්‍රතික්ෂේප කළ පාලනාධිකාරිය මා නවයුගයේ කතුවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව දැන්විය. අන් පුවත්පතකට පෙම් බැඳීමට නොහැකි තරම් මිහිරට බැඳී සිටි මට එය කළ නොහැක්කක් විය.

හැරෙන තැපෑලෙන් කතුකම ප්‍රතික්ෂේප කළ මම වසර 26ක් රැඳි පුවත්පත් කලාවට ද නැවතීමේ තිත තැබුවෙමි. ඒ වසරේම දීපානි ද, ඊට පසු වසරේ ආත්මා ද මිහිරෙන් ඉවත් වූහ.

එතැන් සිට මිහිරේ ගමන ගැන කතාකිරීමෙන් පලක් නැත. පාලකයන්ගේ ගො බ්බ තීරණ හේතුවෙන් වසර 70කට ආසන්න කාලයක් රටට දරුවන්ට දැනුම බෙදූ වටිනා පුවත්පතක් එලෙස ඉතිහාසයට එක් විය.

මගේ අත්දැකීමේ හැටියට ලේඛනයේ අසීරුම කාර්යය දරුවන්ට ලිවීම ය.

අපට පවා එයට හුරු වීමට කාලයක් ගත විය. එබැවින් දීර්ඝ කාලයක් මිහිරේ කටයුතු කළ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඉතා පළපුරුද්දක් ලැබුවෝ වූහ.

එහෙත් ඔලමොට්ටල පාලකයන්ට ඒ කිසිවෙක් අඩුම තරමින් නියෝජ්‍ය කතු පදවියටවත් සුදුසු නොවීය. ඒ තරමට පාලකයන්ගේ පත්‍ර කලා දැනුම ඉහළ තත්ත්වයක තිබිණි. එවැන්නන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම ද එක් අතකින් පල රහිත ය.

තවමත් ඊ පුවත්පතක් ලෙස එය පළවන බව ඇසීම තරමක් අස්වැසිල්ලට හේතු වුවත්, ලේක්හවුසියට අහසින් එන පාලකයන්ගේ කෙරුවාවල් ගැන හොඳ අත්දැකීම් ඇති නිසා ඒ අස්වැසිල්ල කොතරම් කල් තිබේ දැයි දන්නේ නැත.

ලේක්හවුසිය අපට දෙවොලකි. තවමත් ලේක්හවුස් සේවකයෝ උදේ පිටගැට පෙළ නැගි විට මුලින්ම පෙනෙන ඩී. ආර්. විජයවර්ධනයන්ගේ පිළිරුවට වැඳ ආයතනයට ඇතුළු වන්නේ ඒ නිසා ය.

කලින් කළට පැමිණ ඒ දෙවොලේ පහරන කපුවන්ට ඒවා ගැන වගක් නැත. අඩුම තරමේ දැන්වත් ඒ රන් දෙවොලේ උන්නතිය වෙනුවෙන් කැපවීමට කපුවන්ට සිත් පහළ වන්නේ නම් යහපත් ය.

Share This