සන්ධාන මන්ත්‍රීවරයෙක් සජබෙට පනී

සන්ධාන මන්ත්‍රීවරයෙක් සජබෙට පනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර තිබේ.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකුද නාත්තන්ඩිය ආසනයේ සංවිධායක වරයාද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යන ලදී.

උසස් අධ්‍යාපනයෙන් පසු සිය පියාගේ අඩිපාරේ යමින් 1988 වසරේ පොදුජන පෙරමුණට එක්වූ ඒ මහතා වයඹ පළාත් සභාවට තේරී පත්විය. ඉන්පසුව 2000 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය. එසේම 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් විය. එමෙන් ම 2010 මැතිවරණයෙන්ම ජය ලැබීනේ අනතුරුව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධාකයවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු අමාත්‍යධුර දැරූ කාලය තුළ තරුණයන් වෙනුවෙන් සහ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කිරීමට ඔහුට හැකි විය.