තිලංග සහ අමරවීර නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

තිලංග සහ අමරවීර නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර මහතා ආණ්ඩුවට එකතු වී ඇමති ධුරයක් භාර ගත්තේ යැයි ද එය පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

අමරවීර මහතා ඉවත් කර හිස් වූ ලේකම් ධුරයට තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබීය.

මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මෙම ප්‍රශ්නය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කිසිදු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි ගැටලුවක් මතුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ ගණනාවක් සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරීමට යෝජනා වී තිබුණද මෙම ලේකම් ධූරයේ ගැටලුව ඊට හරස් විය.

අමරවීර හා සුමතිපාල මහත්වරුන් දෙදෙනාටම එම තනතුරුවලින් ඉවත් වන ලෙස දැනුම් දෙනු ලැබුවේ එම බාධාව ඉවත් කරගැනීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.