අලිරාජා පරදා ටෙලිකොම් කොටස් ගන්න අම්බානි සහ චීන සමාගමක් සුදුසුකම් ලබයි

අලිරාජා පරදා ටෙලිකොම් කොටස් ගන්න අම්බානි සහ චීන සමාගමක් සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ, චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙකය.

ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් වී සිටියේය.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන තිබේ.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම අයත්වන්නේ, ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යපාරයට ය.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගමේ වත්කම මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 107ක් පමණ වෙයි.

ෆෝබ්ස් ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවෙයි.

මේ අතර, ලංකාවේ උපන් ව්‍යවසායකු වන අලිරජා සුබාස්කරන්ට අයත් එක්සත් රාජධානියේ Lyca සමූහයේ පෙරමුණක් වන Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd, ලංසුකරුවකු ලෙස සුදුසුකම් ලැබීමට අපොහොසත් වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් හි 50.23%ක කොටස් විකිණීමේ කටයුතු පිළිබඳ ඉන්දීය සහ චීන සමාගම්වල උනන්දුව ඇති කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණිමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.

Share This