මෙරට සුසුකි වැගන් ආර් වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෙරට සුසුකි වැගන් ආර් වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ජපානයේ සුසුකි ‌මෝටර් රථ සමාගම (Suzuki Motor Corporation Japan) විසින් Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සුසුකි වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම (AMW) විසින් සුසුකි වැගන් ආර් මෝටර් රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි.

විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙනු ඇත.

මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇත.

බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී.

මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 0117 609609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.