ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

”අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම” යන තේමාව යටතේ ඩුබායිහිදී ඊයේ (11) ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ විය.

මෙම සමුළුව අතරතුර, උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.