සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයා පැය 4ක් සේවක අඩස්සියේ

සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයා පැය 4ක් සේවක අඩස්සියේ

සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතාව එහි සේවකයෝ ඊයේ (05) පැය හතරක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවක නිරත වූහ.

සභාපතිවරයා තම ආයතනය තුළ අත්තනෝමතික තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ලාභ ලැබූ ආයතනය පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව පවසමින් එයට විරෝධය දක්වමින් සේවකයන් විසින් මෙසේ සභාපතිවරයාව කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවයේ නිරත වී ඇත.

සභාපතිවරයා කාර්යාලයට පැමිණ සුළු වේලාවකට පසු සේවකයන් තමන් කරමින් සිටි කාර්යන් අතහැර දමා සභාපතිවරයාගේ කාර්යාලය වට කිරීමට පටන්ගෙන ඇත්තේ පෙරවරු 10.00ට පමණය. මෙහිදී සභාපතිවරයාව ආරක්ෂාකාරීව කාර්යාලයෙන් පිටතට ගෙන සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යෑමට ඇඹිලිපිටිය, උඩවලව හා සෙවණගල යන පොලිස් ස්ථාන තුනක නිලධාරීන් ගෙන්වීමට සිදුව තිබිණි. විරෝධතාකරුවෝ සභාපතිවරයා කාර්යාල අඩස්සියේ තබා ගනිමින් ප්‍රකාශ කළේ තම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පවා අනුමැතියක් නොගෙන ආයතන ගිණුමේ මුදල්වලින් රුපියල් ලක්ෂ දොළොස් දහසක මුදලක් මහා භාණ්ඩාගාරයට දී ඇති බවකි.

එම අත්තනෝමතික ක්‍රියාවෙන් ආයතනයේ සේවකයන්ට ගෙවීමට ඇති දිරි දීමනා පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් එම සභාපතිවරයා ආයතනයට පැමිණීමත් සමඟ ආයතනයේ නිෂ්පාදනයක් නිසි මිලකට අලෙවි කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

පොලිසිය එහි පැමිණීමෙන් පසු මුලින්ම සභාපතිවරයා හා එහි වෘත්තීය සමිති නිලධාරීන් සමඟ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගත් නමුත් එය ආවරණය කිරීමට මාධ්‍යයට අවසර දීමට එම ආයතන ප්‍රධානීන්ගේ අවසර නොලැබිණි.පසුව සාකච්ඡා අසාර්ථක බව පවසමින් පිටතට පැමිණි වෘත්තීය සමිති නිලධාරීන් පැවැසීමත් සමඟම එහි සිටි විරෝධතාකරුවෝ නොසන්සුන්ව සභාපතිවරයාට දැඩි ලෙස විරෝධය දැක්වූහ. එහිදී නැවත පොලිසිය විරෝධතාවයේ නිරත සේවකයන් සමඟ සාකච්ඡා පවත්වා සභාපතිවරයා පිටතට ගැනීමට කටයුතු කරනු ලැබීය.