තැපැල්පතිගේ අණ නොතකා තැපැල් සේවකයන් වර්ජනයේ

තැපැල්පතිගේ අණ නොතකා තැපැල් සේවකයන් වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා.

ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු කර ඇති පසුබිමකයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි, ඒකාබද්ධ තැපැල් පෙරමුණ පැවසුවේ.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවය.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කර ඇත්තේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවත්, ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් සහතික වී ඇති බවය.