සරසවි ඇදුරෝ සහ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක

සරසවි ඇදුරෝ සහ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (02) සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

මෙම වැඩ වර්ජනයට සමගාමීව අද රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකින ලෙස ඉල්ලා කොළඹ මහජන පුස්තකාලයේදී විද්වතුන්ගේ සහාභාගිත්වයෙන් මහජන සම්මන්ත්‍රණයක්ද පැවැත්වීමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ විශාල හිඟයක් ඇති වී තිබුණත් පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා තවමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව විශ්ව විද්‍යාල නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබා දීමක් සිදුනොකරන බවත්, මේ නිසා නඩත්තුවට ප්‍රමාණවත් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා හා විශ්ව විද්‍යාලවල පවතින සම්පත් හිඟයට විසඳුම් ඉල්ලා මෙම එක් දින වැඩ වර්ජනය සිදුකරන බවත් සඳහන් කළේය.

මේ අතර, දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බව එම සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව, ඌව පළාත තුළ අද පෙරවරු 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Share This