සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද වැඩ වර්ජනයක

හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා රු.35000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද (01) උදේ 6.30 සිට වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72 ක් එකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදුකරන බවත්, ළමා හා කාන්තා රෝහල් පිළිකා හා වකුගඩු රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළද වැඩ වර්ජන ක්‍රියා මාර්ග සිදුනොකරන බවත් අනෙකුත් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් හෙතෙම පැවසීය.

අද (01) උදෑසන 6.30 සිට ආරම්භ වන වැඩ වර්ජන ක්‍රියා මාර්ගය සඳහා හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් ලක්ෂයක පමණ පිරිසක් සම්බන්ධ වන බවත්, මේ අනුව වැඩ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් තුළ සෞඛ්‍ය සේවා බිඳ වැටෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් තුළ CT පරීක්ෂණ, MRI ස්කෑන් පරීක්ෂණ, සියලු විකිරණ පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, ඖෂධ බෙදා හැරීම, භෞත චිකිත්සක සේවා, රෝග නිවාරණ සේවා, එන්නත් කරන සහ මාතෘ හා ළමා සායන ඇතුළු සියලු සෞඛ්‍ය සේවා බිඳ වැටෙනු ඇති බවද චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් මීට පෙර අවස්ථාවල වැඩ වර්ජන හා විරෝධතා පැවැත් වුවද, බලධාරීන් විසින් අදාළ ගැටලුවට විසඳුම් ලබා නොදීම නිසා අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට වෘත්තීය සමිතිවලට සිදුව තිබෙන බව හෙතෙම පැවසීය.

අද ආරම්භ කරන වැඩවර්ජනය අවසන් කරන වෙලාවක් තීරණය කර නොමැති බවද, අද දහවල් 12 ට වෘත්තීය සමිති නියෝජිතයන් කොළඹ දී රැස් වී ඉදිරික්‍රියා මාර්ග සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Share This