ශ්‍රීපාද වන්දනාවේ එන බැතිමතුන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රීපාද වන්දනාවේ එන බැතිමතුන්ට විශේෂ දැනුම් දීමක්

මේ දිනවල රාත්‍රී හා අලුයම් කාලයේ පවතින අධික සීතල සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් හා අත් ආවරණ පැළැද පැමිණෙන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානි වෛද්‍ය සජිත් මංජුල මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

සීත ගඟුලෙන් දිය නෑම ඉතාමත් පරිස්සමෙන් සිදු කළ යුතු බවත්, දිය නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිසුන් වු රෝගීන් කීපදෙනෙකුම ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානවලට ඇතුලත් කොට ඇති බවද ඔහු පැවැසීය.

ඇදුම, හතිය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ලයන් සෑම විටම තමන් ලබා ගන්නා ඖෂධ රැගෙන එන ලෙසත්, බොහෝ පිරිසක් ඒවා අමතක කොට පැමිණෙන බවත්, එවැනි පිරිස් දැඩි සීතල තත්ත්වය හමුවේ සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සිරිපා කරුණා කිරීමේදී හදිසියේ ක්ලාන්ත තත්ත්වයක් ඇති වු විගස බිම වාඩි විය යුතු බවත්, එසේ නොමැති නම් බිම දිගා වී අන් අයගෙන් සහාය ඉල්ලා සිටින ලෙසත්, එසේ නොමැතිව එම තත්ත්වයන් ඉවසාගෙන දිගින් දිගටම ගල්පඩි නගිමින් වන්දනාවේ නොයෙදෙන ලෙසත් ඔහු සඳහන් කළේය.

හැටන් මාර්ගයෙන් ශ්‍රීපාදය වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට වෛද්‍යධාර හෝ ප්‍රථමාධාර සහායක් අවශ්‍ය වන්නේ නම් නල්ලතන්නිය පොලීසිය ඉදිරිපිට ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි බවත්, සති අන්තයේ හා ප්‍රධාන නිවාඩු දිනවලදී සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් මෙම ස්ථානයේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු පවත්වන බවත් ඔහු පැවැසීය.

Share This