ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදය ගැන විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදය ගැන විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද (02) විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතයි.

ඒ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අදාළ පාර්ශ්ව අතරයි.

අද පෙරවරු 10 ට ආරම්භ වන සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, කාර්ය මණ්ඩලය සහ වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.

ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි, ඔහු සඳහන් කළේ .

පසුගිය දින කිහිපයේ ගුවන් යානා 8 ක් පමණ අවලංගුවී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, තාක්ෂණික හේතුන් මත එම ගුවන් යානා අවලංගුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර , කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් නේපාලයේ, කත්මණ්ඩු නුවර බලා ඊයේ පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය ද අවලංගු කෙරිණ.

Share This