අහිතකර ආලේපන තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

අහිතකර ආලේපන තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.

එම පුද්ගලයා සමඟ විවිධ ආලේපන අඩංගු ලිටර් 5 ප්ලාස්ටික් කෑන් 30 ක්, යොදාගෙන තිබූ විවිධ ආලේපන වල නම සඳහන් හිස් ඇසුරුම් තොගයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රංජන මහතා පැවසීය.

විදේශ රටවලින් මෙරටට විවිධ සමාගම් මගින් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලද විවිධ ආලේපන වර්ග වලට සමාන ප්‍රමිතියෙන් තොර ව නිෂ්පාදනය කරන ලද ආලේපන නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන ජාවාරමක් මෙම වෙළඳ සැල තුළ සිදුවන බවට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම කළ බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය.

එම වෙළඳසැල තුළ තිබී භාරයට ගත් ආලේපන වල ආසනික් ඊයම් හා බැර ප්‍රමිතිය ඉක්මවා අඩංගුව තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආලේපන වර්ග මිලදී ගැනීමේදී පිළිගත් වෙළඳසැලකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාව වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටි.

අත්අඩංගුවට ගත් සැකකරු බැඳුම් කරයක් මත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල , කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකය ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ යූ රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක , එස් යු පුංචිහේවා , හා ධනුක ගුණරත්න මහත්තුරුන් වැටලීම සිදු කළහ.

Share This