දෙවැනි පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

දෙවැනි පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ලකුණු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ නායක වනිඳු හසරංග ලකුණු 26ක් රැස් කළේය. පැතුම් නිස්සංක ලකුණු 22යි.

පන්දු යැවීමේ දී බැරී මැකාති සහ ජෝෂ් ලිට්ල් කඩුලු 02ක බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 122ක් පමණයි.

ලකුණු 26ක් රැස්කරමින් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කර්ටිස් කැම්පර් සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හිටපු නායක දසුන් ශානක ලකුණු 23ට කඩුලු 4ක් බිද හෙළුවේ ය.

ඊට අමතරව වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ අතර ද එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.