ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක ණය ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගනී

ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක ණය ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගනී

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (05) පැවසීය.

එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය රුපියල් බිලියන 102 ක් හෙවත් රුපියල් කෝටි 10,200 ක්, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය ඩොලර් මිලියන 210 ක් සහ ලංකා බැංකුවට ඇති ඩොලර් මිලියන 68.2 ක බැංකු අණකරයක් ගෙවීම ආණ්ඩුව භාරගත් බවත් එම ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 302 ක් පමණ වන බවත් අමාත්‍යවරයා කීය.

ඊට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙන ඇති ඩොලර් මිලියන 175 ක ජාත්‍යන්තර බැදුම්කරයක් වෙනුවෙන් භාණ්ඩාගාරය දැනටමත් ඔවුන් නොගෙවුවහොත් ගෙවන බවට බැදුම්කරයක් දී ඇති බවත් ලංකා සහ මහජන යන බැංකුවට ඇති තවත් රුපියල් බිලියන 31.4 ක ණයක් සඳහා භාණ්ඩාගරය බැදුම්කරයක් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදලින් මෙම මුදල අයකරගැනීමට ද නියමිත බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.