අන්තර්ජාලයේ දැන්වීම් දමා කෝටි ගණන් වංචා කළ අලුත්ම ජාවාරම

අන්තර්ජාලයේ දැන්වීම් දමා කෝටි ගණන් වංචා කළ අලුත්ම ජාවාරම

අන්තර්ජාලය ඔස්සේ පළ කරනු ලබන දැන්වීම් මඟින් දිවයින පුරා විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් සඳහා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක් වංචා කර පොලිසිය සහ අධිකරණය මඟ හරිමින් සිටි කාන්තාවක් ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ අධිකරණයේ පමණක් ඇයට එරෙහිව විවෘත වරෙන්තු 29ක් සහ දින වරෙන්තු 30ක් ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකාරිය කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි 41 වියේ පසුවන්නියකි.

නාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවෙසක රැඳී සිටිමින් අන්තර්ජාලයේ පළ කරනු ලබන දැන්වීම් මඟින් සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ලබාදීමට හැකි බවත් එයින් විශාල ආදායමක් ඇසුරුම් කිරීමේ රැකියාවේ යෙදෙන අයට ලබා ගැනීමට හැකි බවත් ඇය පවසා ඇති බව පොලිසිය කියයි.

එම දැන්වීමට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් විමසීම් කරන විට ඒ අයව ඇය නාවල ප්‍රදේශයට කැඳවා මුදල් තැන්පත් මත සෝයා වර්ග ඇසුරුම් කිරීම සඳහා ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම සෝයා වර්ග ඇසුරුම් කර නැවත රැගෙනවිත් ලබාදීමෙන් පසු ඊට අදාළ ඇසුරුම් කිරීම සඳහා ගෙවනු ලබන මුදල ද තැන්පත් වශයෙන් රඳවාගෙන ඇති බවත් පැකට් කර රැගෙනවිත් භාර දුන් සෝයා වර්ග නැවත ඇසුරුම් ඉවත් කර වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට දී ඇති බවත් පොලිසිය කියයි.

රැකියාවේ යෙදෙන අයට ගෙවීමට ඇති මුදල් බැංකු ගිණුම් ඔස්සේ ලබාදෙන බවත් පවසා ගෙවිය යුතු මුදල් ඇසුරුම්කරුවන්ට නොගෙවා වංචාසහගත අයුරින් කට්ටි පනිමින් ඇය මෙම වංචාව කර තිබේ.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී හේවගේ, මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් අංක 01 භාර උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (68011) විජේරත්න, පොලිස් කොස්තාපල් (94555) කුමාර, (96824) හර්ෂ, (93302) දයාරත්න, කාන්තාව පොලිස් කොස්තාපල් (11379) අයේෂා යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

Share This