පොහොට්ටුවේ 7වැනි සංවත්සර සැමරුම අද

පොහොට්ටුවේ 7වැනි සංවත්සර සැමරුම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වේ.

එමෙන්ම අද රාත්‍රියේ මහා සංඝරත්නය සියක් නමක් සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර හෙට (04) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වේ.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු, පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මහජනතාව අතර ඉමහත් ප්‍රසාදයට ලක්ව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ දේශපාලන පෙරළියක නව හැරවුමක් සනිටුහන් කරමින් 2016 නොවැම්බර් 2 වැනිදා එම පක්ෂයේ ජාතික සංවිධායක හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

අභියෝග රාශියක් මැද බිහිවූ මෙම දැවැන්ත පක්ෂය ගත වූ වසර හතක කාලය තුළ විවිධ අභියෝග රාශියකට මුහුණ දෙමින් එම අභියෝග ජය ගෙන ඉදිරියට පැමිණ තිබෙන අතර පළාත් පාලන මැතිවරණයක්, ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

මෙම පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිවකුට සිදු කළ නොහැකි වූ දැවැන්තම මැයි දින රැලිය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බවත් මෙම පක්ෂය මඟින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණයෙන් සියයට 85ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ අතර ඉන් අනතුරුව ජාතික මැතිවරණය වූ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාසගත වාර්තාවක් තබමින් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට මෙම පක්ෂය මඟින් හැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිහිපත් කරයි.

වෙනත් කිසිදු පක්ෂයක නැති අනුබද්ධ සංවිධාන 30කට ආසන්නව අනුබද්ධව තිබෙන මෙම පක්ෂය මඟින් මෙරට කොට්ඨාස, ග්‍රාමීය, මන්ත්‍රී කොට්ඨාස, ග්‍රාමසේවා වසම්, ආසන හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික වැඩපිළිවෙළක් මෙරට තුළ ක්‍රියාත්මක කරවීමට හැකිව තිබේ. ඒ අනුව, ඉදිරි වසර පහ තුළදිත් පක්ෂය ඉතාමත් හොඳින් ශක්තිමත් කරමින්, පාක්ෂිකයන්ව ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ට ලබාදෙන ශක්තියත් එකතු කර ගනිමින්, නව පාක්ෂිකයන් එක්කර ගනිමින්, රජයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

Share This