‍ශ්‍රීලනිපයෙන් පන්නපු දුමින්ද – අමරවීර – ලසන්ත ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක

‍ශ්‍රීලනිපයෙන් පන්නපු දුමින්ද – අමරවීර – ලසන්ත ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයට අද (04) පස්වරුවේ පැමිණ නැවත රාජකාරි ආරම්භ කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තිදෙනා පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කිරීමට පසුගිය සතියේ පියවර ගත් අතර එම මහත්වරුන්ට දැරූ තනතුරුවල කටයුතු කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබීමෙන් පසුව ඔවුහු මෙසේ මූලස්ථානයට පැමිණියහ.

ඔවුහු මුලස්ථානයට පැමිණ පළමුවෙන්ම එහි සේවකයන් කැඳවා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දී ඇති අතර පසුගිය පක්‍ෂයේ ක්‍රියාකාරීන් කණ්ඩායමක් සමඟ ද සාකච්ඡා කර තිබේ.

එම මහත්වරු තිදෙනා ඇතුළු කණ්ඩායම එම කටයුතුවලින් පසුව ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයේ කටයුතු තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයෙන් පැනවූ වාරණයත් සමඟ එම පක්‍ෂය නව ගමනක් ආරම්භ කරන බවත් පක්‍ෂය හැර ගිය සියලුම දෙනාට එම ගමන සඳහා ආරාධානා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දියණිය වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්‍ෂයට සිදුව ඇති විනාශය පිළිබඳව බලාසිටිය නොහැකිව අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයෙන් අද දිනයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලැබුණු බවත් ඒ මහතා කීය.

කොළඹ ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පස්වරුවේ එසේ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයෙන් වාරණයක් නොලැබුණත් බොහෝ කාලයකට පෙර ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කර තිබූ බව කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් සියලු දෙනා ඒ මහතාට චෝදනා කළ බව ද සඳහන් කළේය.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන තමන්, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයා ව්‍යවස්ථා විරෝධීව තනතුරුවලින් ඉවත්කිරීමට ඔහු කටයුතු කළ බවත් ඒ හේතුවෙන් පක්‍ෂයේ විනාශය වැලැක්වීමට පක්‍ෂයේ අනුශාසකවරියක් වන චන්ද්‍රිකා මැතිණිය අධිකරණයේ පිහිට පැතූ බවත් ඒ මහතා කීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන් 140 ක් පමණ පාර්ලීමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ ද මේ වන විට එම සංඛ්‍යාව දෙකක් දක්වා අඩු වී ඇති බව කී අමාත්‍යවරයා ඔහු දක්‍ෂ සංවිධායකයන් විශාල පිරිසක් ඉවත් කළ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංධානයක් ගොඩනැගීමට ගිය අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්ව මණ්ඩලයට පත්කිරීමට සෙසු පක්‍ෂ අකමැති වූ බවත් මහ ගෙදර හැර ගිය සියලු දෙනාට මේ අවස්ථාවේදී ආරාධනා කරන්නාක් මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයේ පළිගැනීමක් නොවන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගොඩනැගීමේ එකම අරමුණ ශ්‍රී ලංකාකාරයෙක් ලෙස මැරෙන මොහොත දක්වා කටයුතු කිරීම බව ද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපතින්ම ශ්‍රී ලාංකා නිදහස් පාක්‍ෂිකයන් වී සිටීම නිසා චන්ද්‍රිකා මැතිණිය අධිකරණයට ගොස් ගත් මෙම තීන්දුව පිළිබඳව සතුටු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ගමන සඳහා සියලු දෙනාම එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ එම පක්‍ෂයේ උප ලේකම් ජගත් පුෂ්පකුමාර මහත්වරු ද සහභාගි වූහ.