සීදුවේ වත්තක ගුවන්යානා නාශක උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක්

සීදුවේ වත්තක ගුවන්යානා නාශක උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක්

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ, අත් බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය සහ අවි කොටස් තොගයක් කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර සොයාගෙන ඇත.

ගුවන් යානා නාශක අවි වලට යොදා ගන්නා ජීව උණ්ඩ දෙකක්, අත්බෝම්බ එකක්, එල් .එම් .ජී .වර්ගයේ ගිනි අවි උණ්ඩ එකක්, වර්ග දෙකකට අයත් පුපුරණ ද්‍රව්‍ය, කුඩා ප්‍රමාණයේ ගිනි අවියක ගලවන ලද කොටස් 17ක්, ඩෙටනේටර් නමයක්, වෝටර් ජෙල් කූරු දෙකක් සහ අඩි දහයක් දිග වෙඩිබෙහෙත් නූලක්සොයාගත් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් අනුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම වත්ත පූර්ණ සෝදිසියකට ලක් කිරීමේදී මේවා සොයා ගැනීමට හැකි වී තිබේ.

මේවා ගෙනවිත් මෙම වත්තේ සඟවා තබා ගිය අය ගැන තොරතුරු තවම හෙළි වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මේවා සඟවා තැබූ අය ගැන තොරතුරු අනාවරණය කරගෙන කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.