හරක්කටා සහ කුඩු සලිඳු ටොන් 05ක කුඩු ලංකාවට ඒවා ඇති බව හෙළිවෙයි

හරක්කටා සහ කුඩු සලිඳු ටොන් 05ක කුඩු ලංකාවට ඒවා ඇති බව හෙළිවෙයි

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන් ම මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා හෙවත් මිදිගම නඳුන් චින්තක සහ කුඩු සලිඳු හෙවත් පානදුරේ සලිඳු මල්ෂිත ගුණරත්න දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5) වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී අනාවරණය කර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන් දෙදෙනාට අයත් ජංගම දුරකතන 10ක් පිළිබඳ කළ තාක්ෂණ විශ්ලේෂණයේදී රහස් පොලිස් නිලධාරීන් ඒ බව හෙළි කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසුවේ, දුරකතන දත්ත හරහා කළ විශ්ලේෂණයේදී මොවුන් මෙරටට එවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 5,000කට වැඩි මිසක් අඩු නොවන බව ය.

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොග විශාල වශයෙන් ම මෙරටට එවා ඇත්තේ, දකුණු මුහුදු තීරය ඔස්සේ බව ද රහස් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හරක්කටා සහ කුඩු සලිඳු විසින් මෙහෙයවන ලද මිනිස් ඝාතන සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වන අතර ඉදිරියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඔවුන් විසින් කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශන ආරම්භ කරන බව ද වාර්තා වේ.

මත්ද්‍රව්‍ය මෙරටට එවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.