බදු නොගෙවූ මත්පැන් සමාගම් රැසක් නීතියට කොටුකර දුන් පාඨලී ට සජිත් දැමූ කැපිල්ල

බදු නොගෙවූ මත්පැන් සමාගම් රැසක් නීතියට කොටුකර දුන් පාඨලී ට සජිත් දැමූ කැපිල්ල

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉවත් කර ඒ වෙනුවට වියත්මග සාමාජිකයෙක් වන නාලක ගොඩහේවා නම් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඊට අමතරව පාඨලී චම්පික රණවක විසින් සභාපතීත්වය උසුලන ලද ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේන්ද ඔහු ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වය යටතේ ක්‍රම සහ විධී කාරක සභාව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයෙදී ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුනු අතර සුරාබදු ගෙවීම මගහැර සිටි මත්පැන් නිෂ්පාදන සමාගම් රැසකගෙන් නීතියේ රැහැනට කොටුකර දී රුපියල් බිලියන ගණනක බදු ආදායමක් අයකර ගැනීමට ඔහු නායකත්වය දෙන ලදි.

ඊට අමතරව රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල තිබු අකාර්යක්ෂම තාවයන් දුරලා එමගින් බදු අයකරගැනිමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කර බදු ආදායම ඉහළ නැංවීමටද ක්‍රම සහ විධී කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික මහතා කටයුතු කළේය.

ජනතාවගෙන් අයකරනා බදු අඩුකර ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකරගන්නා ලෙස නිතරම රජයට බලකරනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමා සතු සීමිත බලය යොදාගනිමින් ධනවතුන්ගෙන් බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව කරගෙන ආ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කමිටු දෙකකින්ම නෙරපීම පුදුම සහගත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය දැරූ ආචාර්ය හර්ෂ ද සිල්වා තමා විදේශගත වූ අවස්ථාවන්හීදී එම කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කළේ පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයාය.

එවන් පසුබිමක් තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විසින් රාජ්‍ය මුදල් කාරක සභාවට සභිකයන් තෝරාගැනීම සඳහා විපක්ෂයට පවතින කෝටාව වෙනුවෙන් පාඨලී චම්පික රණවකගේ නම ඉවත් කොට සමගි ජන බලවේගය වෙත අලුතින් එක් වූ දූෂණ චෝදනා සහිත ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කිරිම පුදුම සහගත තත්ත්වයක් බව එම පක්ෂයේ සාමාජිකයෝ පවසති.

මේ අතර මෙම සිදුවීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාඨලී චම්පික රණවක මහතා පවසනුයේ පසුගිය රාජාසන කතාව පැවැති අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මන්ත්‍රිවරු පිරිසක් සභාවෙන් නැගිට ගියද තමා ඇතුළු කිහිපදෙනෙක් සභාවේ දිගටම රැඳී සිටි බවයි.

රාජාසන කතාව පිළිබඳ විවාදයේදී තමාටද කථාවක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ලට දැන්වූ බවත් ඔහු ඊට එකඟ වුවද පසුව තම කථාව ඉවත්කර ඇති බව පාඨළී චම්පික රණවක පවසයි.

ඊට හේතුව විමසීම්වේදී විපක්ෂ නායකයාගේ නැගිට යනවිට ඔහුගේ පස්සෙන් යාමට සෙසු මන්ත්‍රීවරු දැනගත යුතු බවත්, එසේ නොකරන මන්ත්‍රීවරුනට කථා ලබානොදෙන බවත් පැවසූ බව ඔහු පවසයි.

තමාට අභියෝගයක් විය හැකි සෑම දේශපාලනඥයෙකුගේම ගමනට බාධා කිරීම විපක්ස නායක සජිත් ප්‍රෙමදාසගේ ප්‍රතිපත්තිය බවත්, පාඨලී රණවක මන්ත්‍රීවරයා සමග පවතින පෞද්ගලික විරසකයක් පිරිමැසීම සඳහා මේ අකාරයෙන් ඔහු පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කළබව පෙනෙන්නට ඇතිබවත් දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මින් පෙර ද, පාඨලී චම්පික රණවක මහතාට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා වෙලාව ලබා දීමේ දී ද කප්පාදුවක් සිදුවන බව ඔහු විසින් සඳහන් කර තිබිණ.