ක්‍රීඩා ඇමති රොෂාන්ගේ වාහන පසුපස පොලීසිය පන්නයි

ක්‍රීඩා ඇමති රොෂාන්ගේ වාහන පසුපස පොලීසිය පන්නයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (23) දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

එම වාහනය තීරු බදු නොගෙවා තිබෙන බවත් කූට ලේඛණ සකසා ඇති බවට ලද තොරතුරක් මත ඔවුන් භාරයට ගෙන දඹුල්ල පොලිසියට භාරදුන් බව වලාන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් දඹුල්ල පොලිීසිය දැනුවත් කර තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ, තමන් නිවාඩු ලබාගෙන තිබෙන බවය.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ, ඒ පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස්පරික්ෂකවරයා ගෙන් විමසිය යුතු බවය.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.ආර්.ඇල්ලේපොල මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ, තමන් ද එදින නිවාඩු සිටි නිසා නිසි තොරතුරක් නොදන්නා බවය.

23 දින වැඩ බැලු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා කියා සිටියේ, ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඊයේ දින දඹුල්ල පොලිසියට භාරදී ඇති බවය.

ඒ අනුව, අධිකරණයට කරුණු වාර්තා කරන බව ඒ මහතා පැවසිය. කෙසේ වෙතත් වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථාන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දී කියාසිටියේ යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් එම වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි තොරතුරු ලබා දීමට තමාට හැකියාවක් නොමැති බවය.

තමන් අධිකරණ භූමියේ රැඳී සිටින බවත් පස්වරුව වන විට එහි තොරතුරක් ලබා දීමට හැකි බව පවසා ඔහු ද දුරකථනය විසන්ධි කළේය. කෙසේ වෙතත් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති වාහන අංගනයේ මෙම ජීප් රථය තිබෙන බවට තොරතුරු ලැබී වලාන දූෂණ ඒකකය නිලධාරීන් පැමිණෙන විට එම වාහනය රොෂාන් රණසිංහ මහතාගේ වාහන අංගනයේ ඉදිරිපිට පිහිටි වෙනත් ගරාජයක අලුත් වැඩියාවක් කරමින් තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව රොෂාන් රණසිංහ අමාත්‍යවරයවරයාගේ පෞද්ගලික වාහන අංගනයේ අධ්‍යක්ෂවරයකු වන ඉන්දික රත්නායක මහතාගෙන් කල විමසීමේ දී කියා සිටියේ, මෙම වාහනය නීත්‍යානුකූල ලියකියවිලි සියල්ල තමන් සතුව පවතින බවය.

කිසිදු ආකාරයකින් දූෂණයක් අක්‍රමිකතාව සිදු කර නොමැති බවද මෙහි නියම අයිතිකරුට පවා නොදන්නවා පොලිසියෙන් පැමිණ මෙම වාහනය රැගෙන ගොස් ඇතැයි චෝදනා කළේය.

කෙසේ වෙතත් මේ වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් දඹුල්ල, කුරුණෑගල, වාද්දුව, පොළොන්නරුව, ආදී ප්‍රදේශ වල පිහිටි පෞද්ගලික වාහන අංගන කිහිපයක පරීක්ෂාවන් සිදු කර පොළොන්නරුව ප්‍රදේශයේ දී මෙවැනිම වාහනයක් අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

මේ පිළිබඳව විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ කළ ද ඔහුගේ ජංගම දුරකථනය ජාල අපහසුතාවක් ඇති ස්ථානයක රැඳී සිටින බවට වාදනය කෙරිණි.

Share This