කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට සහන මිලට වායු රයිෆල්

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට සහන මිලට වායු රයිෆල්

වන සතුන්ගෙන් සිදුවන වගා හානී වළක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබේ. පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වවුනියාව, කිළිනොච්චි, මුලතිව්, යාපනය හා පුත්තලම් දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටු රැස්වීම් සියල්ලටම සහභාගි වූ අතර එම රැස්වීම්වල දී පවා ගොවීහු තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේය.

මේ වනවිට වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇති අතර වගා හානි සිදු කරන සතුන් අතර රිළවා, මොණරා හා දඬුලේනා ප්‍රමුඛත්වය උසුලයි. දැනට මෙම සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර වන අලින් තවදුරටත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ ඇතුළත්ව සිටිති.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවි ජනතාව පතරොම් තුවක්කු ඉල්ලා සිටියද සතුන් පළවා හැරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහන මිලට වායු රයිෆල් බෙදා දීම ඊයේ දින (22) සිට ආරම්භ කරනු ලැබීය.

ඊයේ පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අගුනකොලපැලැස්සේ දී පැවැති වැඩ සටහනක දී ගොවීන් සඳහා වායු රයිෆල් බෙදා දීම ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව, ඊයේ දිනය දිනය තුළ වායු රයිෆල් 268ක් ගොවීන් වෙත බෙදා දීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වනසතුන්ගෙන් සිදුවන වගා හානි මේ වනවිට ඉහළ ගොස් ඇති අතර වගා හානි වළක්වා ගැනිම සඳහා තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙසට ගොවීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බව ද පැවසීය.

වගා හානි වැඩි වශයෙන්ම සිදු කරන්නේ රිළවුන් විසිනි. මේ නිසා රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වොද්‍යාන වෙත ලබා දීමට අවශ්‍ය මුලික පියවර ගත්තත් පරිසර සංවිධාන විසින් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ කඩාකප්පල් විය. තවත් රටවල් කිහිපයකින්ම අපේ රටේ රිළවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුනත් මෙම අධිකරණ තීන්දුව නිසා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබී තිබේ.

කෙසේ වුවද ඉදිරි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති නිසා වගා කරන බෝග වන සතුන් විනාශ කිරීම බරපතල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය කර ඇත.මේ නිසා වායු රයිෆල් පමණක් නොව පතරොම් තුවක්කු ද ගොවීන්ට ලබා දීමට සිදු වනු ඇත.

කෙසේ වුවද මෙම පරිසර සංවිධාන රිළවුන් ඇතුලු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික නැත. වගාවන් වටා සාරි එල්ලීම, පොල්ගස්වල තහඩු බැඳීම මෙන්ම වගා කරන ගොවිපොළවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන් කිරීම කළ යුතු බව මෙම පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා වගා හානි වළක්වා ගැනීම සඳහා දරණ උත්සාහයක් වශයෙන් ගොවින්ගේ ඉල්ලීම පරිදි වායු රයිෆල් බෙදා දීමට පියවර ගත් බවත්, මේ සඳහා මෙම වර්ෂය තුළ මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ගෙන් ඉල්ලා සිටියේය.

යම් කිසි ගොවියෙක් මිනිසුන්ට හිංසා කිරීම සඳහා මෙම වායු රයිෆල් යොදා ගත හොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share This