පෝය දිනවල හා ඉරිදා උපකාරක පන්ති පැවැත්වීම තහනම්

පෝය දිනවල හා ඉරිදා උපකාරක පන්ති පැවැත්වීම තහනම්

නැගෙනහිර පළාත තුළ ඉරිදා හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

දහම් අධ්‍යාපනයට යෙදවීමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වී තිබීම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ දැක්වේ.

මේ අනුව ඉරිදා දිනවල පස්වරැ 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරැන්ට බලය පවරා ඇති අතර ඒ සඳහා පොලිසියේ හා අදාළ පළා පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි තිබේ.

මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, කන්තලේ, අම්පාර, මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.විරසිංහ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල යන මහත්වරැ එම කමිටුවල කල සාකච්ඡාවලට අනුව නැගෙනහිර ආණ්ඩුකාරවර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ලබාදුන් උපදෙස් මත මෙම චක්‍ර ලේඛය පලාත් අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබේ.

Share This