“රත්තරං” නම වැටුණු හැටි රෝහිත කියයි

“රත්තරං” නම වැටුණු හැටි රෝහිත කියයි

තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන මහතා තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.

“මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රේමලාල් මන්ත්‍රීතුමාට කියනවා චොකා මල්ලි කියලා. මට පොඩි කාලෙ දාපු නම ‘රත්තරං’. ආදරේට දාපු නමක්. අපේ ගම්වල මිනිස්සු මාව දන්නෙ ‘රත්තරං’ කියලා. මං මේ දේශපාලනේට ආවට පස්සෙ මට හැදුවා, මං මාල කඩලා තමයි රත්තරං වුණේ කියලා. සමාජ මාධ්‍යයේ තමයි ගහන්නේ. “රත්තරං මාල කඩපු හොරා” කියලා. මං මේ එකෙක්ව හොයනවා මං කඩපු මාලයක් පෙන්නපිය කියලා.”