මෙරට විශ්වවිද්‍යාල ඇරඹීමට සිංහල-දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ආරාධනා

මෙරට විශ්වවිද්‍යාල ඇරඹීමට සිංහල-දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ආරාධනා

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබා දිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී. අලස් මහතාගේ ද දැක්ම වූ “සැමට අධ්‍යාපනය” ලබා දීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

මුදල් නොමැතිකමින් කිසිදු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිටරට යවන යුගයද අවසන් විය යුතු බව පැවසීය.

මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Share This