රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනපතිගේ පඹයන් ගිනි තබයි

රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනපතිගේ පඹයන් ගිනි තබයි

රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරණයට එරෙහිව අද කොළඹදී පැවැත්වූ විරෝධයේදී තොවිලයක් පැවැත්වීමට සහ ජනපතිගේ රුව සහිත පඹයන් ගිනිතැබීමට වෘත්තිය සමිති නායකයෝ කටයුතු කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංගගේ සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරණය උදෙසා වූ කමිටුවේ සභාපති සුරේෂ් ෂාගේ පඹයන් ගිනිතැබීමට මෙලෙස කටයුතු කෙරිණි.

විදුලිබල, ටෙලිකොම්, රක්ෂණ, තැපැල්, දුම්රිය බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන රැසක් පෞද්ගලිකරණයට, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ තහනම් කිරීමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය වෘත්තිය සමිති ඒකාබද්ධ කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීය.

එම විරෝධතාව පෙබරවාරි 21 දහවල් 12ට කොළඹ කොටුව ලේක්හවුස් වටරවුමේදී පැවැත්විණි.

මීට පෙර ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පෞද්ගලිකකරණය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර එම සාකච්ඡාව වහා ලබා දෙන ලෙසත්, ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට පෞද්ගලිකකරණය සඳහා කිසිදු අයිතියක් නොමැති බවත්, ජනතාවගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුකරන අත්තනෝමතික පෞද්ගලිකකරණ ක්‍රියාවලිය නතර කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් බල කිරීම සඳහා ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය එම විරෝධතාව පැවැත්වීය.

පෞද්ගලිකකරණයට මුහුණදෙන ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සමිති 40කට වැඩි ප්‍රමාණයක එකමුතුවෙන් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලිකකරණය සඳහා ගැනුම්කරුවන් ලෙස ඉන්දියාවේ අම්බානි සමාගම සහ චීනයේ ගෝචූන් සමාගම ලැයිස්තුගත කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය වෙනුවෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර, විදුලිබල මණ්ඩලය කොටස් ගණනාවකට වෙන් කිරීමට නියමිතය. විදුලිබල මණ්ඩලයේ ගැනුම්කරුවන් අතර ඉන්දියානු අදානි සමාගම ප්‍රමුඛ ලෙස කියැවේ.

රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය වෙනුවෙන් රක්ෂණ සංස්ථාව කොටස් දෙකකට ඛණ්ඩනය කිරීමට පියවර ගනිමින් සිටී. ඒ අනුව ජීවන රක්ෂණ අංශය ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ්‘ යන නව සමාගමක් යටතට හුවමාරුකිරීමට නියමිතය. මෙමගින් මෙරට ඉතා ශක්තිමත් රක්ෂණ සංස්ථාව දුර්වල වනු ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව සතු නුවරඑළිය තැපැල් ස්ථානය, මහනුවර තැපැල් ස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට සැලසුම් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළ ගණනාවක් විකුණා දැමීමට සැලසුම් සකස් කර ඇති අතර, දුම්රිය ගමන්වාර පෞද්ගලිකකරණය පිළිබඳ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා පවතින බව වාර්තා වී තිබේ.

මිල්කෝ ආයතනය අමුල් ආයතනය සහ මෙරට පාර්ශ්වකරුවෙකු වෙත විකිණීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර තිබේ.

මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ අදානි සමාගමට ලබා දීමට නියමිත අතර, විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේදී ප්‍රකාශ කළේ රත්මලාන හා බණ්ඩාරණායක ගුවන්තොටුපළ දෙකද ඉන්දියාවට විකුණා දමන බවය.

රාජ්‍ය බැංකුවල කොටස් පෞද්ගලිකකරණය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාව සහ ගුවන්විදුලි සංස්ථාව ඇතුළු රජයේ මාධ්‍ය ආයතන සහ එම ආයතන සතු සංඛ්‍යාත පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳ සාකච්ඡා පවතින බවද දැනගන්නට ඇත.

තවත් ආයතන ගණනාවක් පෞද්ගලිකකරණය කරමින් එම පොදු සේවාවන් ලාභ අපේක්ෂා කරන පාර්ශ්වයන් වෙත පැවරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. ජාතික සම්පත් ව්‍යාපාරය එම උත්සාහයට එරෙහිව පුළුල්ම පෙළගැසීම වේ.

මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික යුද්ධයකට මැදිව සිටින රටක් වන අතර, එවැනි පසුබිමක විදේශීය සමාගම්වලට මෙරට සන්නිවේදන, බලශක්ති, ප්‍රවාහන සහ අනෙකුත් උපායමාර්ගික සේවා සහ දේපළ පැවරීම අමනෝඥ ක්‍රියාවක් බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පෙන්වා දෙයි.

එමෙන්ම, දේශීය ව්‍යාපාරිකයන් වෙත පවරමින් වුව ප්‍රධාන සේවාවන් පෞද්ගලිකකරණය කළහොත් එය ආර්ථික වශයෙන් දුර්වල වී සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා බිහිසුණු බලපෑම් ඇති වන තත්වයක් වනු ඇතැයි එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

එමෙන්ම මෙලෙස පෞද්ගලිකකරණය කරන ආයතන අතර ජනතා සන්තක සම්පත් ප්‍රාග්ධනය ලෙස යොදවමින් ගොඩනැගූ, ආණ්ඩුවට විශාල ආදායමක් උත්පාදනය කරන ලාභ ලබන ආයතනද ඇතුළත් වන අතර, ඒවා පෞද්ගලිකකරණය කිරීම තුළින් රාජ්‍ය ආදායම අහිමිවන බව එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

එතුළින් අහිමිවන රාජ්‍ය ආදායම උත්පාදනය වෙනුවෙන්, නැවත වතාවත් සාමාන්‍ය ජනතාව මත වක්‍ර බදු පනවමින් ජනතාව පෙළන්නට සිදුවන බව එම ව්‍යාපාරය අවධාරණය කරයි.

Share This