මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

තව ද වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමින්.

තව ද පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් එම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කිරීමේ දී මඩු දේවස්ථානය සහ වනාන්තර ආරක්ෂා වන අන්දමින් බවත් ඔහු සඳහන් කළා.

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය දේශීය සංස්කෘතියේ කොටසක් බව එහි දී පැවසූ ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේ, උත්සවය ජාතික උත්සවයක් ලෙස සලකා එය ආරක්ෂා කිරීමත්, අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීමත් රජයේ වගකීමක් බවයි.

මේ අතර පසුගිය දා, ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් පවසා සිටියා.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවා ද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බව ද උන් වහන්සේ එහි දී අවධාරණය කළා.

Monara