මන්නා රමේෂ් බිරිය සමඟ සාජා පොලිසියට කොටු

මන්නා රමේෂ් බිරිය සමඟ සාජා පොලිසියට කොටු

ප්‍රබල පාතාල අපරාධකරුවකු වන මන්නා රමේෂ් නැමැත්තා දින තුනකට පෙර සිය බිරිය සමඟ සාජා පොලිසියට දින හසුවී ඇතැයි මෙරට ආරක්ෂක අංශ ඊයේ (28) තහවුරු කරගෙන තිබේ.

මන්නා රමේෂ් තමන්ගේ මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඩුබායි වල ජීවත්වන ලංකාවේ පාතාලයෙක්ම ලබා දුන් තොරතුරක් මත සාජා සිට ඩුබායි බලා ගමන් කරමින් සිටි මන්නා රමේෂ් සහ ඔහුගේ ගමන් කළ වාහනය නැවැත්වීමට සාජා පොලිසිය කටයුතු කර තිබේ.

එහෙත් පොලිස් අණ නොතකා ගමන් කළ වාහනය අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දි මන්නා රමේෂ් යනු ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් හිමි පුද්ගලයෙක් බව හෙළි වී තිබේ.

ඒ අනුව ඔහු සහ ඔහුගේ බිරිය සාජා පොලිස් අත් අඩංගුවට පත් වි තිබේ.

ජාත්‍යාන්තර රතු වරෙන්තුව මත පොලිසියට කොටු කර දීම සඳහා මන්නා රමේෂ් පාවා දෙමින් බොරු ඔත්තු දී ඇති පාතාල අපරාධකරු ද ඩුබායිහි මන්නා රමේෂ් සමග එකට සිටි පුද්ගලයෙක් බව බුද්ධි තොරතුරු හෙළි කරයි.

එම පාතාල අපරාධකරු කුරුණෑගල දරුන් නමැති අයකු බව ද දෙදෙනා අතර ඇතිවුණු ගැටුමකින් අනතුරුව මන්නා රමේෂ්ව සැලසුම් සහගතව පොලිසියට හසුකර දීමට ඔහු කටයුතු කර ඇති බව ද බුද්ධි අංශ නිලධාරීහු කීහ.

අවිස්සාවේල්ලේ පාතාල භීෂණයක් පතුරුවාගෙන සිටි මෙම අපරාධකරු මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලමින් සාජා පොලිසිය සමඟ සම්බන්ධ වී අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මන්නා රමේෂ්ට එරෙහිව මිනිස් ඝාතන හා ඝාතන තැත් කිරීම් 10කට වැඩි ප්‍රමණයක් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

ත්‍රිරෝද රථයක නැඟී මළ ගෙදරක යමින් සිටි තරුණයන් සිව්දෙකුට පසුගිය වසරේ සැත්තැම්බර් 20 වැනිදා රාත්‍රියේදී තල්දූවේදී වෙඩි තබා තිදෙනකු ඝාතනය කරනු ලැබුවේ ද මන්නා රමේෂ් ඩුබායි සිට සිය ගෝලබාලයන්ව මෙහෙයවමිනි.

එම ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිරයාට ද මන්නා රමේෂ් ඩුබායි සිට තර්ජනය කළේය.

මෙයට දින කිහිපයකට පෙර ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන ඌරගහ මයිකල් නමැති පාතාලයේ ප්‍රබල අපරාධකරු ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත් ඒ අය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙතෙක් ඩුබායි පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මඟින් මෙරට දැනුවත් කර නැත.