මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි !

මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි !

අනුරගේ ඉන්දියන් ගමන පත්තු වුනේය. මුලදි ජවිපෙන්  ලංකාවේ මාධ්‍ය වලට තොරතුරු ලබා දී තිබුනේ ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුලු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවය.

එහෙත් හින්දු ටයිම්ස් පුවත් වෙබ් අඩවිය මේ තොරතුර වාර්ථා කලේ ලංකාවේ ප්‍රධානම මාක්ස්වාදී පක්ෂය ඉන්දියාවේ සංචාරයක නිරත වන බව කියමින්ය.

ඒ අනුව යමින් WION පුවත් සේවාව ඇතුලු ඉන්දීය ජනමාධ්‍ය රැසක් ලංකාවේ මාක්ස්වාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් එරට රජයට සම්බන්ධ ප්‍රධානම රාජ්‍ය තාන්ත්‍රිකයන් කීප පොලක්ම මුණ ගැසීමත් වාර්ථා කරන්නට වුනි.

ලංකාවේ ප්‍රධාන පක්ෂ නායකයින් මෙලෙස ඉන්දියාවේ සංචාරය කිරීම සහ රජයේ නියෝජිතයන් මුණ ගැසීම ඉතිහාසය පුරාම සිදු වී තිබියදී මෙවර එය අරුමයක් වූයේ අන් කවරක් නිසාවත් නොව ඉතාම මෑතක් වන තුරු දැඩි ඉන්දීය විරෝධයක් පෙන්නුම් කල ජවිපෙ ඉන්දියාවට යාම නිසාය.

80 දශකයේ අග වන විට තම කුප්‍රකට පන්ති පහට ඉන්දියානු ව්‍යාප්තවාදය පිලිබඳව දේශනයක්ද ඇතුලත් කර තිබූ ජවිපෙ , මේ ඊයේ පෙරේදා වන තුරු ඉන්දියානු නිදහස් වෙලඳ ගිවිසුම් වලට , නැගෙනහිර ජැටිය අදානි සමාගමට ලබාදීම ගැන, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ගැන දැඩි විරෝධයක් පෙන්නුම් කලේය.

එසේ තිබියදීත් ඉන්දියන් රජය අනුර ප්‍රධාන ජවිපෙ ඉන්දියාවට ගෙන්වා ගත්තේ ඇයි ?

         සත්‍ය යනු දෘශ්‍යමානයම නොවේ !!

අපට ලැබෙන තොරතුරු අනුව මීට අදාල කපු කම සිද්ධ වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.  කපුවා වූයේ රනිල් වික්‍රමසිංහ ගේ අතිජාත මිත්‍ර මලික් සමරවික්‍රමය. මලික් හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හරහා මෙම ජවිපෙ ඉන්දියාවට යවන වැඩේ ගැට ගැසුවේය.

( මලික් සමරවික්‍රම ගේ ඒ කපු කම ඉන්දියාවට පමණක් සීමා නොවිණ,  ඒ ගැන මේ ලිපියේ පසුවට කියැවේ. )

රනිල් – මලික් හරහා මේ ජවිප – ඉන්දු සබඳතාව හැදුවේ නිකම් නොවේ. චීනය මෙන්ම ඉන්දියාවද රනිල් එක්ක ලොකු ඇයිහොඳැයියක් තිබුනේ නැත.

ඉන්දියාවට රනිල් එක්ක තිබෙන අවුල වන්නේ ඔහු ඉන්දියාව හරහා නොගොස් ඍජුවම ඇමරිකාව සමඟ සමීපව කටයුතු කිරීමයි. එය ඉන්දීය රජය නොරිස්සූ කාරණයක් විය. මේ සිදුවීම හා සමාන දේකට  රනිල්ගේ මාමා වූ J.R ට ද මුහුණ දීමට සිදුවිය.

ඕනෑවට වඩා ඇමරිකාව ලංකරගත් J.R නිසා උරණ වූ  ඉන්දියාව LTTE එක පෝෂණය කල අතර එය දඩමීමා කර ගනිමින් ලංකාවට ඉන්දීය හමුදා ව පවා එව්වේය, බලහත්කාරයෙන් පලාත් සභා ක්‍රමයක් ඇටෙව්වේය.

රනිල් ඉන්නේ ජනාධිපතිවරණයක් අබිමුවය.  ඒකට තරඟ කරන්නට ඔහුට ආසාවක් ඇත. එහෙත් ඉන්දියානු ආරෝව නිසා ඔහුට  උතුරේ ඡන්ද කුට්ටිය අහිමි වන බව ඔහුට සක සුදක්සේ පැහැදිලි වී තිබිණ.

ඔහු කලේ මලික් සමඟ එකතු වී ඉතිරි වී තිබූ තුරුම්පුවක් ඇදීමය. පේන හැටියට එය ටක්කෙටම වැඩ කර ඇත.

ඒ ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු – ලංකා නිදහස් වෙලඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට වන ප්‍රධාන බාධාවක් වන ජවිපෙ හීලෑ කර ගත හැකි මගක් ඉන්දියාවට පෙන්වා දීමය.  ඉතිරිය මලික් සමරවික්‍රම  – ගෝපාල් බග්ලේ සමඟ එකතු වී ඉටු කලේය. එහි ප්‍රතිපලය වූයේ  අනුරගේ ඉන්දියන් සංචාරය යි.

” මුඩු මුහුණකට සීරීමත් ආභරණයක් ” බව රනිල් දැන සිටියේය.
ජවිපෙ පක්ෂයක් ලෙස සහ එහි  හිතවාදීන් ඉන්දියන් සංචාරය උත්කර්ෂයට නංවන හැටි දුටු විට ඒ රනිල් හිතපු විදිය ඇත්තක් බව පෙනී යයි.

ඉස්සරහට පෙර කී වෙලඳ ගිවිසුම අත්සන් කරන විට තමන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය අකුලගෙන සිටින්නට සිදුවන බව ලාල් කාන්ත දන්නවා වුනාට වසන්ත සමරසිංහ ට පෙනෙන්නේ නැත. ඊට පල්ලෙහා පාක්ෂිකයාට කොහෙත්ම පෙනෙන්නේ නැත.

       ඔලුව අතගාලා ඉන්දියානු ටොක්කක්

ඊටත් එහා යමින් ඉන්දියාව ජවිපෙට ඔලුව අතගා ටොක්කක් ඇන ඇති බවද මේ ප්‍රහර්ෂයෙන් දෑස් වැසී ඇති සහෝදරවරුන්ට පෙනෙන්නේ නැත.

ලංකාවේ ජහමනයාට NPP අයිසින් එක තවරා දහ අතේ නෑ කියා දිව්රා වසා ගෙන සිටින ජවිපෙ මාක්ස්වාදී භාවය ඉන්දියාව තම මාධ්‍ය හරහා ලංකාවේ ඡන්ද ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන්නේ තම රටේ සංචාරය කරන්නේ ලංකාවේ ප්‍රධානම මාක්ස්වාදී පක්ෂය බවට පුන පුනා කීමෙනි.  ( මෙහේ වහන්දේලා තවමත් හිතාගෙන ඉන්නේ ජවිපෙ ලංකාවේ බලය ගන්න නියමිත නිසා ඉන්දියාවට ගෙන්නුවා කියාය )

                        IMF උදාහරණය

ඉන්දියන් වැඩේ  රනිල්ගේ අත්හදා බැලීමක් නොවේ. ඔහු ඒක අනුරලාට කල පුරුදු සෙල්ලමකි.මුලදී IMF ගිවිසුම සම්බන්ධව ලංකාවේ වැඩිපුරම විරෝධය දැක් වූයේ අනුර ප්‍රමුඛ ජවිප යයි.

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

දැන් දැන් එම ජවිපෙ විරෝධය IMF සම්බන්ධව නෑ නේද ? IMF නියෝජිතයන් අනුරලාව මුණ ගැහුනත් එක්ක නේද ?
එහෙම උනේ කොහොමද  ?

මෙතනදීත් පාවිච්චි වුනේ අප පෙරදී පෙන්වා දුන්
” මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි  ” THEORY එකමය.  කපුවාද පෙර කෙනාමය.
ඔබට මතකද ජවිපෙ ඉහලින්ම උත්කර්ෂයට නංවා FACEBOOK එකේ ජය කෙහෙලි නැංවූ අනුරගේ ඇමරිකානු සංචාරය.
එයද රනිල් වික්‍රමසිංහ විසින් මලික් සමරවික්‍රම හරහා සිදු කර වූවකි.  ලංකාවේ ප්‍රසිද්ධ නොවුනාට එහිදීද අනුර කුමාර දිසානායක ඇමරිකානු රාජ්‍ය නියෝජිත කමිටුවක් හමුවට ගෙන යන්නට මලික් කටයුතු කර තිබුණි.
ප්‍රතිපලය IMF ඇතුලු ඇමරිකානු විරෝධය සමනය වීමයි.

රනිල් වික්‍රමසිංහ මේ ක්‍රමය කරුණා අම්මාන් LTTE එකෙන් බිඳවීමටද මෙලෙසම පාවිච්චි කලේය. එවරද ඒක වැඩ කලේය. දැන් අනුර ප්‍රධාන ජවිපෙට ද පාවිච්චි කලේය.

කණ්ණාඩියෙන් බලන්න….. මුඩු මුහුණු වලට සීරීමත් ආභරණයකි…..

Share This