රනිල්ගේ අලුත්ම ඇම ‘කරූ‘ ?

රනිල්ගේ අලුත්ම ඇම ‘කරූ‘ ?

නෙළුම් කුලුනේ රහස් කවුළුව..

මේ දවස්වල නෙළුම් කුලුනේ සිට බලා ඉන්නා විට තැන් තැන්වල නානාප්‍රකාර දේ පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවේත්, සිරිකොතේත්, පැලවත්තේත්, නෙළුම් මාවතේත්, වරායේ නැවක පවා ඒ ඒ මට්ටමේ දේවල් සිද්ධ වන ආකාරය මේ රහස් කවුළුවට පෙනේ. අද කතාව ඔය සියල්ල අතරේ හොර පාරේ සිද්ධ වෙන්නට යන යමක් ගැන ය.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය එළඹෙන 18 වැනිදා පුරවැසි කතිකාවතක් පවත්වන්නට නියමිත ය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති අවශ්‍යතාව“ යනුවෙන් එය පැවැත්වෙයි.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරියගේ අත්සනින් යුතුව මේ වනවිට යවා ඇති ආරාධනා පත්‍රයක් මඟින් ඊට සහභාගි වන්නැයි සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝ පිරිසකට ආරාධනා කොට තිබේ.

ආචාර්ය නිහාල් ජයවික්‍රම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධයක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන අය එහිදී දේශන පැවැත්වීමට නියමිතය.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මේ රටේ බොහෝ සාධනීය දේ කළ සංවිධානයකි. මෙරට තීරණාත්මකම අවස්ථාවක සමාජ වෙනසක් වෙනුවෙන් ජනාධිපතිවරයෙකු පවා බිහි කරන්නට පෙරමුණ ගත් සමාජ ව්‍යාපාරයකි.

මෙරට ඇති වුණු පොදු මහජන අරගලයේ කැපී පෙනෙන කාර්යභාරයක් කළ සංවිධානයකි. ඒ අතින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ යම් ප්‍රශංසනීය අදහසක් තිබේ.

එහෙත් මෙවර ඔවුන් සිදු කරන්නට යන දේ කෙතරම් ඔවුන්ට තරම්දැයි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරයි. මේ කතිකාව හරහා ඔවුන් සමාජය තුළ මතු කරන්නට උත්සාහ කරන සංවාදය කුමක්ද? මේ මොහොතේ එහි වාසිය නියමින් හෝ අනියමින් ලබාගන්නේ කවුද?

මේ එළඹෙන වසර මැතිවරණ වසරක් බව අපි කලින්ද කීවෙමු. ඒ නිසාම දාන්නට හැකි සියලු මුට්ටි මේ කා‍ලයේ දමා බලන බවද අපි දනිමු. මේ සෙල්ලමද එවැනි එක් සෙල්ලමක් බව රහසක් නොවේ.

අප එසේ කියන්නේ ඇයි? මේ කතිතාවතත්, එමඟින් ඇති වන යම් සංවාදයක් වේ නම් එයත්, සියලු අනුශාංගික කාරණාත් වාසියට හිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වීම නිසා ය.

රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවාදැයි තවමත් නිශ්චිත නැත. මේ කවුළුවට පෙනෙන දේවල් සහ කවුළුවෙන් වැටෙන ආරංචි අනුව නම් දැනගන්නට ඇත්තේ රනිල් ඉදිරි ජනාධීපතිවරණයට තරග නොකරන බව ය.

දැනට එන සමීක්ෂණ වාර්තා රනිල්ට දිනන්නට බැරි බව දක්වන හෙයින් රනිල් පාර්ශ්වය මේ අතීරණයේ පසුවන බවට අනුමාන කළ හැකි ය. ඒ නිසා අවසන් මොහොත දක්වාම “ඉල්ලනවා ඉල්ලනවා“ කියමින් සිට රනිල් තරගය මඟහරින්නට ඇති ඉඩකඩ වැඩි ය.

එවැනි පසුබිමක සමාජ බලපෑමක් ලෙස හෝ මතුව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැකි නම් එහි අත්‍යන්ත වාසිය හිමි කරගන්නේ රනිල්ය.

අනිත් අතට මෙතෙක් කල් උතුරේ දේශපාලන පක්ෂ බොහෝමයක සහයෝගය සහ කැමැත්ත රනිල් වෙත ලැබී තිබුණද, දැන් ඒ කැමැත්ත සහ සහයෝගය සෑහෙන ප්‍රමාණයකින් අහිමිව ගොස් තිබේ.

ඉතිං රනිල්ට දැන් අලුත් උපාය උපක්‍රමයක් තෝරන්නට සිදුව තිබේ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නම් බළලා ලවා මේ කොස් ඇට බාවාගන්නට හදන්නේ ඒ නිසා බව අපේ හැඟීමයි.

කෙසේ වුවද ‘මහත්මයෙකු‘ ලෙස ප්‍රකට කරු ජයසූරිය වැනි අයෙකු පවා මේ ‘පෙුාජෙක්ට්’ එකට අහුවීම ඛේදනීනය ය. ඔහු පිළිබඳ අපට ඇති පූර්ව අත්දැකීම් සහ ප්‍රතිරූපය අනුව ඔහු සවිඥානිකව මේ ක්‍රියාවට දායක වී නැතැයි විශ්වාස කරන්නට අපි කැමැත්තෙමු.

එහෙත් දැන හෝ නොදැන රනිල්ගේ ව්‍යාපෘති කරේ තබාගෙන යෑමෙන්, දවස තිස්සේ වතුර ඇද අවසානයේ කළය බිඳගන්නා තැනට කරු සහ සාධාරණ සමාජය පත්වනු ඇත්දැයි යන සාධාරණ සැකය අපට තිබේ.

එය එසේ වන්නේ නම් අපරාධයකි. ඊටත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය තැබූ ජනතාවට කොකා පෙන්නීමකි.

නැවත අවධාරණය කළ යුතු කාරණාව නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ මොහොතේ ගෙන එන සියලු ව්‍යාපෘති රනිල්ගේ ය. එයිනුත් මේ කතිකාව කරු ජයසූරිය ඇමට දමා ගහන ගේමක් බව පැහැදිලි ය.

මේ කාර්යය අවසානයේ මාළුවා ඇම කෑවොත් එහි වාසිය රනිල්ට ය. ඒ නැතත් පාඩුව ඇමට ය. රනිල්ට දැනෙන තරමේ පාඩුවක් නැත.

එනිසා අප ජනතාවට සිහිපත් කරන්නේ, මේ දවස්වල එක එක හැඩයෙන්, ප්‍රගතිශීලී අයිසින්වලින් වසා ඔබ ඉදිරියට එවන පිල්ලි ගැන මීට වඩා අවදියෙන් සිටිය යුතු බව ය.

විශේෂ ලියුම්කරු – කොත්මලේ රංග

Share This